Tuesday, January 6, 2015

කඩදාසි යාළුකම

                                                  ජිවිතේ හමු වන දහසකුත් මිනිස්සු එක්ක ගොඩ නගා ගන්න සබැදියාවන් අතරේ , යාළුකම කියන්නේ අනික් හැම සම්බන්දකමක්ම අබිභවා යන බැදීමක්. මේ ලෝකේ එකම එක යාළුවෙක් වත් නැති කෙනක් හොයාගන්න පුළුවන් නම්  ඒක මහා පුදුමයක්. හමුවෙන හැම යාළුවෙක්ම එක වගේ නැති වේවි, ඒත් ඒ හැම යාළුවෙක්ම ජිවිතේට මොකක්ම හරි දෙයක් කියා දීලා තියෙනවා.   

                   එකට කාලා බිලා ඉන්න උන් අතරෙ එකට හිටියට බොක්ක වෙනස් එක යාළුවෙක් හරි ඉන්නවා.ඉස්සරහට යනකොට කකුළෙන් අදින හුගාක් යාළුවෝ අතරේ, මහා මෙරක් වගේ හැම වෙලාවෙම ඉස්සරහටම තල්ලු කරන යාළුවෝ  අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඉන්නවා.හැම වෙලේම කථා නොකරට, හැමදාම මුණ නොගැසුනාට, හැමදාම ළගින් ඉන්න යාළුවෝ අතරෙ, ඕන වෙලාවට විතරක් කථා කරන යාළුවොත් නැතුවම නෙවෙයි.

                  මේ හැම යාළුවෙක් අතරේම කඩදාසි යාළුවෝ තමයි ගොඩාක්ම ඉන්නේ.කඩදාසි යාළුකම අතරේදී වැරැද්දක් පෙන්වලා දෙන්න විදියක් නැහැ, මොකද මේ යාළුකම පවතින්නේ මුනිච්චාවට හිනා වෙලා කථා කරන දේ මත මිසක්, හැබෑම මිත්‍රත්වය මත නොවන නිසා. සාමාන්‍යයෙන් යාළුවෙකුට වැරද්දක් පෙන්වලා දෙන්න පුළුවන් තවත් යාළුවෙකුට  මිසක් නන්නාදුනන්නෙකුට නෙවෙයි. එත් මේ කඩදාසි යාළුකමේදී තව කෙනෙක් ගේ වැරද්දක් පෙන්වුවොත් සිදුවන්නේ මිත්‍රත්වය ද පළුදු වීමක්.ඒ නිසාම හුගාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ දැක දැකත් නිහඩවම ඉන්න.

                                       සර්ව සම්පුර්ණ නොවුණු අපි හැමෝම අතරෙ වැරදී, අඩුපාඩු තියෙනවා. ඉතිං, යාළුවෝ  අතරේ එකිනෙකා විවේචනය කර ගන්න පුළුවන් නම්, ( ඒ කියන්නෙ එකිනෙකාට හිනා වෙලා,බැන ගැනීමකට නෙවෙයි) එකෙන් අපි හැම කෙනෙක් ළගම තියෙන වැරදී, අඩුපාඩු හදාගන්න පුළුවන්.එහෙම නැතුව වැරද්දක් දැක දැකත්  නිහඩවම ඉන්න වෙන්නේ,  මේ කඩදාසි යාළුකම අතරෙ සිටීමෙන් පමණයි.

                             යාළුවෝ කියන්නෙ ජිවිතේ වැදගත්ම පිරිසක්. ඔයාටත්  ඇති අතේ ඇගිලි ගානටත් අඩුවෙන් කඩදාසි යාළුවෝ නොවුණු පිරිසක්. කවදාවත්ම මොනම හේතුවක් නිසාවත් ඒ යාළුවන්ව නැති කර ගන්න එපා.       


                              කැරකෙන ලෝකෙ පාවෙන කඩදාසියක් නොවී                                                                                             තෙත බරිත උන වැහි බිංදුවක් වත් වෙයන්

                                      

2 comments:

  1. අතේ ඇගිලි ගණනට නැතත් අවංක යාළුකම වටි හැමදාටම.... :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත හංසි

      Delete