Saturday, February 28, 2015

නුබ අහස වුනේ ඇයි


19 වන කොටස

                          “පුතේ.... ඩොක්ටර් කෙනෙක්ට මම චැනල් කරා හවස යන්”  පහුවෙනිදා දවල් අප්පච්චි මා ළගට ඇවිත් කිව්වා. එහෙම කිව්වම මගේ ඇස් ලොකු වුනේ අප්පච්චි කොහොමද දන්නෙ කියන එකටත් වඩා ඇයි අප්පච්චි මට බනින්නෙ නැත්තේ කියල හිතුන නිසයි.

                            “ ඒ ළමයගෙ උපන් වෙලාව ඉල්ලලා දෙන්න  ඉක්මනටම නැකතක් හදල එන්ගේජ් වෙන්න” මම මුකුත් කියන්න කළින්ම අප්පච්චි කිව්වා. මට අප්පච්චි ගැන අසීමිත ආදරයකුත් මං ගැන අසීමිත කලකිරීමකුත් ඇති වුණා.

                       “අප්පච්චි ... අම්මට කිව්වද?”

                       “මම  පස්සෙ වෙලාවක කියනම් “ අප්පච්චි හිනා වෙලා කිව්වා.

අප්පච්චිගෙ ඒ හිනාව ඇතුලේ තියෙන්නේ දුකක්ද, කෙන්තියක්ද නැත්තන් ඇත්තටම එයා සියා කෙනෙක් වෙන සතුටද කියල මට තෙරුනේ නැති වුනාට, මට අප්පච්චිගේ හිනාව නිසා හිතට හයියක් ආවා.

                       “අප්පච්චි.............” රෑ අයියා ගෙට ආවේ හයියෙන් අප්පච්චිට කතා කරගෙන.

                       “ඇයි බින්ස්” අප්පච්චි බය වෙලා වගේ කාමරේ ඉදන් එලියට ආවා.

                       “මෙයා ට මොකද වෙලා තියෙන්නෙ” ටීවී එක බලන ගමන් අප්පච්චි එන ගමන් අරගෙන දුන්න බූන්දි කකා ඉන්න මා  දිහා නොබලාම අයියා, අප්පච්චිගෙන් ඇහුවා.

                       “ඇ.. ඇයි... මොකද? ඔය ඉන්නෙ “ අප්පච්චි මාව පෙන්නලා කිව්වා.

                       “මෙතන ඉන්න බව නම් මට පේනවා  මම අහන්නේ අද හවස අප්පච්චි එයා එක්ක කොහෙද ගියේ” අයියා කේන්තියෙන් කිව්වා.

                      “මම කොහේ ගියාම උබට මොකද? උබ මගේ අප්පච්චි වෙන්න එනවද දැන්”  අප්පච්චි කවදාවත් නැතුව බින්ස්ට තදින් කතා කරා.

                      “අම්මේ අපිට රටේ ලෝකේ ඉන්න හම්බවෙන් නෑ මෙයා නිසා”

                       “ඇයි බින්ස් මොකද වෙලා තියෙන්නෙ”අම්මා පුදුමයෙන් අපි තුන් දෙනා දිහා  බලාගෙන අයියගෙන් ඇහුවා.

                       “මම දන් නෑ ඔය ඉන්නෙ අහ ගන්න” අයියා එහෙම කියාගෙන යන්න ගියා.
එත් ටික වෙලාවකින් අයියා බිංකුවත් එක්කන් ආයෙත් ආවා. ඒ ඇවිත් මට කතා කරාකොටත්  මම ටීවී එක දිහා බලාගෙන කල්පනා කර කරා හිටියා.

                         “චංකු............” බිංකු මගේ ළගින් වාඩි වෙලා මට කතා කරා.

                         “ආආආආආ................... බිංකු කොහොමද?” මම වෙනදා වගේම හිනා වෙලා අක්කා ගෙන් ඇහුවා.

                         “ඔය අහස්ව ගෙන්නලා ඉක්මනට බන්ඳලා දාන්න” අප්පච්චි දිහා බලලා අයියා කිව්වා.

                         “මම කිව්වා වේලාව ඉල්ලලා දෙන්න කියලා නැකතක් හදවන්න ඉක්මනට” අප්පච්චි ආයෙත් අප්පච්චිට හුරුපුරුදු ස්වරයෙන් කිව්වා.

                        “මේ වුන හැම දේම වුනේ නැකත් බලලා නෙවයි නෙ ඉතිං ඔය අත්සන ගහන්න මොන නැකත් ද?” 
   
                        “බින්ස් මේ ගෙදර තීරණ ගන්නේ ඔයා නෙවෙයි අප්පච්චි ඔයා මේක ගැන කරදර වෙන්න ඕනා නැහැ” අම්මා මම හිතපුවත් නැති කතාවක් කිව්වා. අම්මා මුකුත් නොකියා හිටියට අප්පච්චි අම්මට කියල, කියන එක මට තේරුණා.  ඉස්සර ඉදන්ම මම කරන වැඩ වලට බනිනවා ඇරෙන්න අම්මා අප්පච්චි වගේ මගේ පැත්තට කතා කරේ නැහැ. එත් අම්මා කෙනෙක්ගෙ ආදරේ  හැම වෙලේම දැනෙන් නැති වුණා කියලා අඩු වෙන් නෑ  කියලා මට තේරුනේ මේ මොහොතේදී.            

                                                    



                                            ආයෙත් හමුවෙමු මේ අහස යටදී...........................

Thursday, February 26, 2015

නුබ අහස වුනේ ඇයි


  18 වන කොටස

මාව ආයෙත් විශ්වවිද්‍යාලයට යවන්න අයියටයි අක්කටයි ඕන වුනත් අහස්ගෙයි මගෙයි මතකය ඉහිරුණ බිමකට ආයෙත් මට විතරක් තනියෙන් යන්න ඕන කමක් තිබුනෙම නැහැ.

                    “අනේ චමි ඔයා එන්න අහස්ව නිදහස් වෙයි.” අමා මට අඩ අඩා කෝල් කරලා කිව්වා.

                     “අහස් ආව දවසක මාත් එන්නන් අමා”මට අහස්ව මුණගැහුන, අහස්ගේ සුවද විහිදිලා තියෙන විශ්වවිද්‍යාලෙ ට කව්රු කොහොම කිව්වත් ආයෙත් යන්න හිත හදා ගන්න බැරි වුණා.

දවස් ගණන් සති ගණන් ගෙවිල ගිහින් අහස්ට ඇප හම්බවුණා කියලා මම ප්‍රවෘත්ති බලනකොට දැන ගත්තා. මට හිනා වෙන්නද අඩන්නද කියල තේරුනේ නැති වුනාට මට ඇඩුනා.මම ඒ වෙලේම අහස්ට දුරකථන ඇමතුමක් ගත්තත් එත් වෙනදා වගේම “ඔබ ඇමතු අංකය භාවිතයේ නොමැත.නැවත ඇමතීමට පෙර කරුණාකර අංකය නිවැරදි දැයි බලන්න.” කියන වචන පේළිය අහන් ඉදලා ඇමතුම විසන්දි කරා. ප්‍රවෘත්ති ඇහුව මොහොතේ ඉදන් මම මග බලාගෙන හිටියා කොයි මොහොතක හරි මට කෝල් කරාවි කියලා.

                                        


                 
                    “අ..හ....ස්...” මගේ නිදි නොලබපු ඇස් වලට කදුළක් එකතු කරමින් අහස් රෑ මට කෝල් කරා.

                    “කොහොමද චම්ස්” අහස් වෙනදා වගේම වෙනසක් නොවුණු හඩින් ඇහුවා.

                    “ඇයි මට මෙච්චර වෙලා කෝල් එකක් වත් දුන්නෙ නැත්තෙ” මම නෝක්කාඩු කිව්වා.

                    “මම දැන් දැක්කෙ ඔයා එව්වා මේල් එක. මම හිතුවෙ ඔයා මාව අමතක කරලා ඇති කියලා “මේ අහස්මද කතා කරන්නෙ කියල මට හිතුණා.

                    “අහස්..................... ඔයා මට ආදරේ කරේ අතර මගදී දාලා යන්න වුණාට මම එහෙම නෙවෙයි ආදරේ කරේ” මම කෙන්තියටත් වඩා දුක නිසාම සද්දෙන් කියාගෙන  ගියා.

                     “මම දන්නවා රත්තරං “ අහස්ගේ ආදරේ ඇතුලේ ආයෙත් මම ආදරණිය නිද්‍රාවකට පත් වුණා. මේ අවුරුදු ගානකට ඉස්සර මගේ ළග නතර වුණ අහස් ම තමයි කියල මට දැනුනා.

                    “ඔයාට කොහොමද දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද?”

                     “මම කාටවත් තාම කිව්වේ නෑ” මම හෙමින් කිව්වා.

                      “මෝ...ක... ක්..........” අහස් පුදුමයෙන් කිව්වා.

                      “මම කාටද කියන්නෙ අහස් මේවා”

                      “හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........................” අහස් දිග සුසුමක් හෙළුවා. ඒ සුසුමේ තිබුණේ මං ගැන දුකක්ද? ආදරයක්ද? අනුකම්පාවක්ද? එහෙමත්  නැත්තන්  අහස්ට එයා ගැනම ඇති වුන දුකක්ද කියල මම තේරුන් නෑ. 
                       “ඇයි...... අහස්”

                       “මොකද කරන්නෙ චම්ස් දැන්”

                       “මොකද කරන්නෙ කියන්නේ?”

                       “මං දන්නෙ නෑ එනකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයක් නැතුව එනවා”

                       “මේ වුන දේවල් වලට මමයි ඔයයි ඇරෙන්න මේ පොඩි එකා වග කියන්න ඕන නැහැනේ අහස්” 

                       “ ඔයා එක්ක දෙයක් කතා කරන්න බැහැනේ. අපි මගේ  ප්‍රශ්නෙ ටිකක් විසදෙනකන් ඉදලා මැරී කරමු. එතකන් ඔයා පරිස්සමින් මගේ පැටියව බලා ගන්න චම්ස්”

                        “හ්ම්ම්ම්ම්ම්ම්......... ඔයාට දැන් මොනවා වේවිද අහස්” අහස්ගේ වචනත් එක්ක අලුත් වුන සෙනෙහසකින් මම ඇහුවා.

                        “අනේ මම දන් නෑ ලෝයර් නම් කියන්නෙ කොහොම හරි නිදහස් කරනවා කියල එත්..............”

                         “ඇයි අහස් එත් කිව්වේ?”

                        “ලෝයස් ලා නම් කියයි එත් ඕවා ෂුවර් නැහැ චම්ස්”

                         “අහස්............... ඔයා ඇයි අහස් ඔයා හැම දේම මගෙන් හැංගුවේ?” මම එහෙම කිව්වම අහස් මුකුත් ම කියන්නෙ නැතුව ටිකක් වෙලා නිහඩව හිටියා.

                         “අහස්.....”

                         “චම්ස් අපි ඒ ගැන කතා නොකර ඉමුද?”

                         “ඔයා හැමදාම මම මොනව හරි ඇහුවම මොනව හරි කියල මග ඇරිය අහස්”

                         “මං ඔයාට නොකිව්වට වුන හැම දේම ඔයා දන්නවානේ?”

                         “ඔව් ඇයි......... ඇයි............ අහස් ඔයා වගේ කෙනෙක් මෙහෙම කරේ? “  මම ඉකි බිදුම් අතරින් අහස්ගෙන් ඇහුවා.

                           “ඒවා ගැන දැන් කතා කරා කියල දැන් වැඩක් නැහැ චම්ස්.මම තියන්නම් දැන් හෙට කෝල් කරනම්. බුදු සරණයි , පරිස්සමින් ඉන්න.” අහස් එහෙම කියල ඇමතුම විසන්දි කරා.
අහස් අදටත් මට එයා ගැන හංගනවා  කියල දැනුනත් මට කරන්න දෙයක් නැහැ. එයාට තව මගෙන් හංගන්න තියෙන්නෙ මොනවද කියල මට තේරෙන්නෙ නැහැ. ඉස්සරහට මොනව වෙයිද කියන්න මම දන්නෙ නැහැ. මේ හැම දේ ගැනම හිතුවොත් මට පිස්සු හැදෙයි කියලා මම දන්නවා ඒ නිසාම වෙන දේකට මුණ දෙනවා කියලා හිතලා මම නිහඩ වුණා.එත්  මාව අහස් තනි නොකරාවි කියන විශ්වාසය මට තිබුණා.

                                                           ආයෙත් හමුවෙමු මේ අහස යටදී...........................

Tuesday, February 24, 2015

නුබ අහස වුනේ ඇයි


17 වන කොටස

අම්මා නම් මට බැනලාවත් හිත හදා ගන්නවා එත් අප්පච්චි මට මුකුත්ම කියන්නෙ නෑ. මට මොනව හරි කියල බනිනවා නම් මගේ හිතට මෙච්චර දුකක් නොදැනෙන්නේ තිබුණා.දවස් ගානක් හිතල හිතල කොහොම හරි අප්පච්චිට මම කිව්වා “අප්පච්චි මට අහස් බලන්න ඕන” එතකොට අප්පච්චි මා දිහා බලපු විදියට මගේ හිතේ ගැස්ම වැඩි වෙනවා මට දැනුනා.මම හැගීම් විරහිතව අප්පච්චි දිහා ඔහේ බලන් හිටියෙ අප්පච්චි බැහැයි කිව්වොත් මොකද කරන්නෙ කියල හිතමින්.

                            “පුතේ.............. ඒ ළමයව අමතක කරන්න” අප්පච්චි ඈත අහසෙ නොදන්නා ඉසව්වක් බලාගෙන කිව්වා. “අප්පච්චි දන්නෙ නැති වුනාට ඔයාගේ  චන්කු අහස්ට මුළු ජීවිතේම සින්නක්කර ලියා දීලා ඉවරයි” මගේ හිත කෑ ගහලා කිව්වත් මම මුනිවත රැක්කා.

                              “ඒ ළමයව ඔයාට ගැලපෙන්නේ නෑ පුතේ........................” අප්පච්චි මෙච්චර සංයමයෙන් කථා කරන්නෙ කොහොමද කියල හිතන්න මට ඕන වුනත් මේ ඒකට වෙලාව නෙවෙයි කියලා මට දැනුනා.

                             “අ...ප්..ප..ච්..චි..” මගේ වචන ගොත ගැහුනා. මෙච්චර ආදරයක් ලගදි මම කොහොමද අප්පච්චිට කියන්නෙ එයාගේ චන්කුට අහස්ගේ නැතුව බැහැ කියල.

                              “පුතේ වාඩි වෙන්නකො “ අප්පච්චි මාව උකුලෙන් වාඩි කර ගෙන මගේ හිස අත ගෑවා. මට පොඩි කාලේ මාව උකුලට අරගෙන ලෝකේ ගැන, මිනිස්සු ගැන කියා දීපු කතා මට  මතක් වුණා.මට ඒ කියා දීපු කතා වලින් මම කොච්චර ටිකයිද අහගෙන ඉදලා තියෙන්නෙ කියල මට අද තමයි තේරුනේ.

                              “අපි යන් උසාවියට අහස් බලන්න හැබැයි ඔයා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕනා”
                             “මො...කක්ද........ අප්පච්චි?”

                            “මීට පස්සෙ පුතා ඒ ළමයා එක්ක තියෙන සම්බන්දෙ  නතර කරන්න ඕන”

                            “මට බැහැ අප්පච්ච් “ මම ගත කටටම  කිව්වා.

                            “ඔයාව කුඩු කාරයෙක්ට දීලා මම කොහොමද පුතේ හිත හදාගෙන ඇස් පියා ගන්නේ” අප්පච්චි මගේ ඔළුව අත ගාන ගමන් කිව්වා.

                            “මේ ලෝකේ හැමෝටම අහස්ව කුඩු කාරයෙක් වුනාට මට එහෙම නෑ....................”

                                                   


                            “පුතේ ආදරේ ලගදි අන්ධ වෙන මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ කසාද බැදලා ජිවිත් වෙනකොට. කවද හරි ඔයාට හිතේවි ඔයා ගත්ත තීරණේ වැරදියි කියල.”

                             “නැහැ අප්පච්චි ඔයාගේ චන්කුට සතුටින් ඉන්න පුළුවන් මේ අහස් කියන කුඩු කාරයා එකක් විතරමයි.”

                             “පුතේ....... ඔයාල ගන්න කිසිම තීරණේකට මම මෙච්චර කාලෙකට විරුද්ධ වෙලා නැහැ. එත් පුතේ දැන දැනත් ඔයාට වැරද්දක් කරන්න මට බැහැ.” අප්පච්චි ඇස් වල කදුළු පුරවාගෙන කිව්වා.
මට අප්පච්චි ගැන නෙවෙයි එයාගෙ චන්කු ගැන දුක හිතුණා. අහස් මට ඇත්ත හැංගුවා තමයි එත් මට අහස්ගෙන් තොර ලෝකයක් ගැන හිතාගන්න බැරි වුණා. මට මගේ කදුළු හංග ගන්න බැරි වුණා මම අප්පච්චිට තුරුළු වෙලා දුක හේදිලා යනකන්ම ඇඩුවා. එත් ඒ කදුළු වලින් මගේ හිතේ බර තවත් වැඩි වුණා මිසක් අඩු  වුනේ නම් නෑ.

                              “පුතේ........... අඩන්නෙ නැතුව ඉන්න දැන්. අපි යන් අහස් බලන්න“

                              “බැහැ අප්පච්චි මට බැහැ” මම එහෙම කියල නැගිටලා ආවේ , මට මා ගැනම ඇති වුන කේන්තියකින්. මට මේ තරම් දැනෙන අප්පච්චිගේ ආදරේ ලගදි තාමත් අහස්ව හොයන්න චුනේ මගේම වරදින් කියල මට අප්ච්චිට කියා ගන්න පුළුවන් වුණා නම්.

“අනාගතයේ කවදා ආයෙත් මට ඔයාව මුණගැහෙයිද කියල මම දන්නෙ නැහැ එත් මමයි මගේ ළග අපි වෙනුවෙන්  හුස්ම ගන්න තවත් ප්‍රාණීයෙකුයි මග බලන් ඉන්නවා අහස් ඔයා ආයෙත් එනකන්.“ මම අහස් කවද හරි දකීවි කියල හිතාගෙන අහස්ට මේල් එකකුයි, මැසේජ් එකකුයි යැව්වා.

                                                                   ආයෙත් හමුවෙමු මේ අහස යටදී.....................

නුබ අහස වුනේ ඇයි


16 වන කොටස

මම හැමදාම පුරුද්දට අද උදෙත් ජංගම දුරකථනය අතට ගත්තෙ අහස්ගේ ගුඩ් මෝනින් මැසේජ් එක බලන්න.  ඊයේ රෑ ඔෆ් කරපු ගමන් තාමත් ඇදේ කොනක ෆෝන් එක තිබුණා.මම ෆෝන් එක ඔන් කරලා බැලුවා මට අහස් සති ගානකට කළින් එවපු මැසේජ් එක විතරමයි අද බලනකොටත්. මට ඊයේ රෑ වුණ හැම දේම මතක් වුණා. 

අහස් මට ඔයාට ඇරෙන්න කාටවත් දැන් ආදරේ කරන්නවත් ලං වෙන්නවත්  බැහැ ඇයි ඔයා මට හැම දේම නොකියා මෙහෙම කරේ. මාව අසරණ කරේ ඇයි මෙහෙම මම දැන් මොනවද කියන්නෙ, ඔයා හැමදාම කියනවා වගේ මේ ලෝකේ මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයා කිව්වා වගේ මිනිස්සු අපි හිතනවා වගේ නෙවෙයි ගොඩක් තේරුම් ගන්න අමාරුයි. හැමෝම කියන දේවල් වලට මොනව හරි කියල හිත රිද්දවාගෙන ඔයා ලගට ඇවිත් කිව්වම “අනේ මොඩියේ.......... ඔයා මොකටද ඕවට කතා කරන්න ගියේ, ම්නිස්සු හැම වෙලේම එක වගේ නැහැ.” එහෙම කියපු ඔයා දැනන් හිටියා මම මෝඩයි කියල එකනේ මටම මෙහෙම කරේ. මම මගේ ෆෝන් එකේ තියෙන අහස්ගේ ජයාරුපය දිහා බලාගෙන කිව්වා.

                                               


මම උදේ ට්වි එකේ යන පත්තරේ විස්තරේ ඇහුවා. හැම පත්තරේකම අහස්ගේ ලොකු ජායාරූපයක් එක්ක එක එක සිරස්තල එක්ක ප්‍රවෘත්ති. මම ටීවී එක දිහා බලාගෙන හිටියට කිව්වේ මොනවද කියල මට ඇහුනෙ නෑ.

මම අහස් ගැන දැනන් හිටියෙ මොනවද කියල මට තේරුනේ පත්තරේ බලනකොටයි.

“අහස් ශෙහංස සමරවීර සරසවියේ අධාපනය ලැබීම මත්ද්‍රව්‍ය ජාවාරමට පිටුවහලක් වී ඇත” මේ සිරස්තලය යටතේ පත්තරයක දිගු ලිපියක් තිබුණා. මට දැන් මතක් වුණා අහස්ගෙ මම තේරුම් ගන්න උත්සහ නොකරපු දේවල් වල තිබුන දේවල්.

අහස්ට ජංගමදුරකථන දෙකක් තියෙනවා. එත් මා ළග තියෙන්නෙ එක දුරකථනයක අංක දෙක විතරයි.අනිත් එකේ දුරකථන අංක මට කවදාවත් දීලත් නෑ මම  ඉල්ලලත් නෑ. අහස් මට වැඩිය එයාගේ අනිත් දුරකථනය දෙන්නෙත් නෑ  එත් දවසක් අහස් මට දුරකථන දෙකයි පරස් එකයි දීලා ගියා. ඒ වෙලාවෙ එයාට කෝල් එකක් ආවා. සමාන්‍යයෙන් මා ළග අහස්ගේ දුරකථනය තිබුනොත් අහස්ට ගෙදරින් එන කෝල් වලට ඇරෙන්න අනිත් කෝල් වලට මම පිළිතුරු දෙනවා. එදා ආව කෝල් එකේ අංකය සේව් කරලා තිබුනෙත් නෑ. මම කෝල් එක ආන්සර් කළා.  
           
                                      “චුටි මහත්තයා බඩු හරිද? මම එන්නද දැන්” කතා කරපු කෙනා එක පාරටම එහෙම කිව්වා.

                                       “කව්ද මේ” මම එහෙම අහපු ගමන් ඒ කෙනා ඇමතුම විසන්දී කරා.

                                       “අහස් ඔයාට කව්ද කෝල් කරලා ඇහුවා. බඩු හරිද දැන් එන්නද කියල” මම අහස් ආව ගමන් කිව්වා. එතකොට අහස්ගේ මුණ වෙනස් වුණා.

                                        “ඔයා මොකටද මගේ කෝල් වලට ආන්සර් කරේ?”  අහස් සැරෙන් ඇහුවා.

                                         “ඇයි වෙනදටත් මං ආන්සර් කරන්නෙ?” මමත් අහස්ටම හරියන ස්වරයකින් ඇහුවා.
                                          “කව්ද කෝල් කරේ කියල නම කිව්වේ නැද්ද?” අහස් පුරුදු කටහඩින් ඇහුවා.

                                          “ම්හු නම අහන්න කළින් කට් කරා.නම සේව් කරලත් නැහැ”

                                           “රෝන් නම්බර් එකක් වෙන්න ඇති.”
අහස් එහෙම කියනකොටම ආයිත් කෝල් එකක් ආවා.එතකොට අහස් ෆෝන් එක අරන් මා දිහා බලලා ආන්සර් කරා.
                                           “කව්ද?”

                                           “මහත්තයා බඩු ටික ගෙනාවා”

                                            “මම කොළබ ඉන්නෙ තාත්තට කියන්න”

                                            “ඉතිං ........... මහත්තයා......... මේ ටික..........”

                                            “මේ අයිසේ........ කියනේ දේ කරනවා. මම දැන් කැම්පස් එකේ, මට වැඩ තියෙනවා, ඕවා කරන්න මට බැහැ දැන්, තාත්තට කෝල් කරලා කියනවා” අහස් මා දිහා බලාගෙන කියාගෙන කියාගෙන ගියා.

                                             “ඇයි මොකද වෙලා තියෙන්නෙ ?  කව්ද අහස් ?” මම විමතියෙන් ඇහුවා.

                                              “ආ........... නෑ.......... නෑ........ මු... මු... මුකුත් නෑ.......”අහස් බයෙන් වගේ ගොත ගහ ගහ කිව්වා.

                                               “මොකද අහස්  වෙලා තියෙන්නෙ?”

                                                “මේ.... මේ........ වැඩ කරන මිනිහෙක් නේ.....”

                                               “ඉතිං මොකද දැන් ඒ මනුස්සයට වෙලා තියෙන්නෙ?”

                                                “ඔයාත් ඕන නැති දෙයක් නෑ.....”

                                                “ඔව් මට තමයි හැම දේම ඕන නැත්තේ, ඔයාට හැම දේම ඕන.”

                                                “ඒ මනුස්සයට මුකුත් වෙලා නෑ ....................ඒ මිනිහා තාත්තට කියන්න ඕන ඒවා මට කියනවා. එච්චරයි..........” අහස් සද්දෙන් කිව්වා.

                                               “ඕකට කෑ ගහන්නවත්, ගොත ගහන්නවත් ඕනා නෑ නෙ මුලින්ම කිව්වා නම් ඉවරයි නෙ?

                                                “මම යනවා අසයිමන්ට් එකට කට්ටිය සෙට් වෙනවා කිව්වා “ අත් ඔරලෝසුව දිහා බලලා  අහස් කිව්වා.
                                       
                                                         “හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... ඉවර වෙලා මට කෝල් එක්ක දෙන්න”
මම දන්නවා අහස් ගියේ මා එක්ක අමනාපෙන් කියල . එත් එයා ඒ වෙලාවේ වෙනසක් නොපෙන්ව හිටියා.මම එහෙම කිව්වට අහස් හයට විතර මම කෝල් කරනකම් කෝල් කරේ නම් නෑ. මම මුළු හවසම එයාට කෝල් කරා, කැම්පස් එකේ හොයන්න පුළුවන් හැම තැනම හෙව්වා  එත් එයාව හොයා ගන්න බැරි වුණා. දන්න හැමෝගෙන්ම ඇහුවා. එක යාළුවෙක් කිව්වා බස් හෝල්ට් එකේ ඉන්නවා දැක්ක කියල. එදා මට තේරුණා මම නොදන්නා දෙයක් තියෙනවා කියල. එත් මට අහස්ගේ ආදරේ ලගදි ඒක ආයෙත් මතක් වුනේ නෑ. මම දැන් දන්නවා එදා මම හොයන්න උත්සහ නොගත්ත, මට අහස් නොකිව්ව දේ මොකක්ද කියල.
මට මේ හැම දේම එක්ක අහස් ගැන කේන්තියකට වඩා ඇති වෙන්නෙ කලකිරීමක්. එත් අහස්ට දුන්න මගේ ආදරේ නම් අදටත් අංශුවක් වත් අඩු වෙලා නෑ කියල මම දන්නවා.

                                                                 ආයෙත් හමුවෙමු මේ අහස යටදී....................